Pages

Wednesday, February 29, 2012


Given Below is an article I published in CamaraSangarawa.org

ලෝක ඥානයෙන් සවිබල ගැන්වෙන ඡායාරූප - [Sebastiao Salgado]

Postby Nirmana » Thu Sep 29, 2011 11:21 am
ලෝක ඥානයෙන් සවිබල ගැන්වෙන ඡායාරූප - [Sebastiao Salgado]

ඩිජිටල්කරණයේ ආගමනයත් සමගම ශ්‍රී ලංකාව තුල කැමරා, ඡායාරූප ශිල්පීන් මෙන්ම විවිධ ඡායාරූප ද සුලභ විය. 
බහුවිධ මාධ්‍ය ඔස්සේ අපගේ නෙත ගැටෙන මේ නවීන ඡායාරූප අතරින් බොහොමයක් අපගේ නෙත රඳවා ගැනීමට හෝ සිත සසල කිරීමට සමත් නොවීම කනගාටුවට කරුණකි.

අද ලංකාවේ බිහිවන ඡායාරූප ශිල්පීන් බොහෝ දෙනෙකුගේ රූපඥානයත්, ''ගැජට්'' ඥානයත්, ඉතා ඉහල බවට විවාදයක් නැත. 
නමුත් ඡායාරූප ශිල්පයෙන් පරිබාහිර ලෝක ඥානයෙන් ඔවුන් සන්නද්ධ නොවීම නිසාදෝ ඔවුන්ගේ ඡායාරූප සුවිශේෂීබවින් තොර සරල ස්වභාවයක් උසුලයි.

ලෝකයේ ශ්‍රේෂ්ඨ ඡායාරූප ශිල්පීන්ගේ නිර්මාණ අධ්‍යයනය, ඇගයීම, ඔවුන්ගේ සමාජ පසුබිම සහ
 එම ඡායාරූප බිහිකිරීම දක්වා ඔවුන්ව මෙහෙයවනු ලබූ සමාජ ආර්ථික පරිසරය පිලිබද අද නවක ශිල්පීන් උනන්දු වන්නෙ ඉතාම අවම වශයෙනි.

සුපිරි ඡායාරූප උපකරණවලින්ම පමනක් ශ්‍රේෂ්ඨ ඡායාරූප බිහි නොවන අතර,ලෝකය, මිනිසා සහ පරිසරය පිලිබද වූ පිරිපුන් දැනුමකින්,
 අධ්‍යනයකින් සහ දයාවකින් ශ්‍රේෂ්ඨ ඡායාරූප බිහි වන බව මගේ හැගීමයි.

මේ සමග පලවන ඡායාරූප කිහිපය දෙස බලන්න. මේ බ්‍රසීලියානු ජාතික Sebastiao Salgado නමැති ශ්‍රේෂ්ඨ ජීවමාන ඡායාරූප
 ශිල්පියාගේ නිර්මාණ කිහිපයකි. දුක් විදින ජනතාවගේ හගීම්, ඉරණම මෙන්ම ඔවුන්ගේ ජීවන අරගලයේ කටුක, ශුෂ්ක බව මේ 
ඡායාරූප වලින් පිළිබිඹු නොවන්නේද?

වෙළඳපොල ආර්ථිකය විසින් ගොදුරු කරගන්නා ලද, ආර්ථික බලවතුන් විසින් නිරන්තරයෙන්ම පෙලනු ලබන, 
හෙට දවසේ ජීවත්වීම සඳහා පමනක්ම සටන් වදින අසරණ දුප්පත් ජනයාගේත්, ජීවත්වීම අරගලයක්ම වූ කම්කරුවන්ගේත්,
 යථා ජීවන ස්වභාවය මේ ඡායාරූප වලින් නිරූපනය වන බව මගේ හැගීමයි.

Image

මෙම ඡායාරූප වලට පිටුපසින් සිටින Sebastiao Salgado ආර්ථිකය පාලනය කරනුලබන බලවතුන් විසින් ජනතාව කොතෙක් පීඩාවට
 පත්කරන්නේද යන වග පැහැදිලිව අවබෝධ කරගත් පුද්ගලයෙකි. ආර්ථික විද්‍යාව පිලිබද පශ්චාත් උපාධිධරයෙකු වන
 Sebastiao තම වෘත්තිය ජීවිතය ආරම්භ කරන්නේ ආර්ථික විශේෂඥයෙකු ලෙසිනි.

ආර්ථික සමග බැදුනු සමාජ ක්‍රමය විසින් පාගා දමනු ලබන අසරණ මිනිසුන් පිලිබද වූ තම ලෝකඥානයෙන් සන්නද්ධ 
තෙවෙනි ඇස මේ විශිෂ්ඨ ඡායාරූප බිහිකිරීම දක්වා යොමුවී ඇති ආකාරය ප්‍රසංශනීය නොවන්නේද?

දුක්විදින අප්‍රිකානු ජනතාව වෙත හෙලනු ලබූ සානුකම්පිත බැල්ම Sebastiao හට "Unicef Goodwill Ambassador" තනතුරක්
 පවා කැදවාගෙන ඒමට සමත්විය.Sebastiao Salgadu විසින් භාවිතා කරනු ලබන ''ගැජට්'' පිලිබදව කිසිදු නිනවුවක් 
නොමතිව මෙම ඡායාරූප රස විඳිය හැකි නොවේද?

විවිධ කැමරා වෙළඳනාම, තාක්ෂනික මෙවලම් හා ඒවයේ යෙදවුම් ගැන කෙස්පැලෙන තර්ක විතර්ක කරනා අපේ ඇතැම් 
ඡායාරූප ශිල්පීන් තම ''ගැජට්'' ආකල්ප පසෙකලා අපේ රටේ අපේම මිනිසුන්ගේ ජීවන අරගලය , දුක, සතුට, 
ආදරය ලොවට හෙළිකිරීමට තම රූපඥානය මෙන්ම ලෝකඥානයද මෙහෙයවන්නේ නම් කෙතරම් අගනේද?
විශිෂ්ඨ ඡායාරූප සහ ඒ හා සබැදුනු ඡායාරූප ශිල්පීන් මෙන්ම එම නිර්මාණ බිහිකිරීම දක්වා ඔවුන් මෙහෙයවනු ලැබූ 
ඔවුන්ගේ ලෝක ඥානයේ භාවිතය පිලිබද හරවත් සංවාදයකට මෙම ලිපිය පෙරවදනක් වේවා..!
----- නිර්මාණ ජයතුංග ------


Image

Children's ward in the Korem refugee camp

Image

Dispute between Serra Pelada gold mine workers and military police

Image

Gourma-Rharous

Image

Refugees in the Korem camp


No comments: